ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය යනු ඉතාමත්ම වටිනා හා ප්‍රබල මිනිස්බල
සම්පාදන ආයතනයකි.විශ්වවිද්‍යාලයට ඇතුලත් වන බහුතරයක් සිසුන්
අභිමානයෙන් හා උද්යෝගිමත්ව අධ්‍යාපන කටයුතුවල නියැලීමට බලාපොරොත්තු
වේ.නමුත් බොහෝ විශ්වවිද්‍යාලවල පවතින පෞරාණික,නීතිවිරෝධී හා
අනුශාසනාත්මක සංකල්පයක් වන ‘නවකවදය’ හේතුවෙන්,නවක සිසුන්ගේ
අභිමානය මෙන්ම තම ආත්මවිශ්වාසය මැකී යන අවදානමක් පවතී.
සෑම වසරකම නවකවදය හේතුවෙන් සිසුන් මරණයට පත්වීම,බාහිර හා මානසික
ආතතියට ලක්වීම,අධ්‍යන කටයුතුවලින් ඉවත්වීම වැනි දරුණු ප්‍රතිවිපාක
බොහොමයක් විශ්වවිද්‍යාල සංස්කෘතිය යැයි කියාගන්නා සමාජය තුල දැකියහැක.
- නවකවදය යනු කුමක්ද?
විශ්වවිද්‍යාල පද්ධතියට අලුතින්/නවකව පිවිසෙන ශිෂ්‍යන්ට,ජේෂ්ඨ යැයි
කියාගන්නා ශිෂ්‍යන් විසින් සිදුකරනු ලබන මානසික,කායිකව මෙන්ම වාචිකමය
පීඩාකාරී ක්‍රියාවලියකි.’නවකවදය’ බොහෝවිට අර්ථ ගන්වන්නේ ‘විශ්වවිද්‍යාල
සංස්කෘතියට හුරුකරවීම’, එකිනෙකා අතර සමගිය සංවර්ධනය,බැජ් ෆිට්1ක
වැඩිකිරීම හා කුහකත්වය නැතිකිරීම වැනි ෆැන්ටසිමය වචනවලිනි.නමුත් මෙය
මූලික මිනිස් අයිතිවාසිකම් වලට හා නීතියට පටහැනි ක්‍රියාවකි.
“නවකවදය යනු වාසිදායක සංස්කෘතියක් නොව,අනාගතය විනාශයට පත්කරන
මනෝමය විකෘතියකි.” - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ ආචාර්යවරයෙකුගේ
අදහස – - ශ්‍රී ලංකාවේ බොහොමයක් විශ්වවිද්‍යාලවල,විශේෂයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල,
නවකවදය ක්‍රමවත් සංවිධානයක් මෙන් පවතින බව සිදුවූ මරණ සිද්ධීන්
වලින්,මාධ්‍ය වාර්තා හා අභ්‍යන්තර පරීක්ෂණ හෙළිදරවු කරයි. - ‘නවකවදය’ තුරන් කිරීමේ සමාජමය වගකීම්.
1.ගුරුමණ්ඩලයේ හා පරිපාලන කාර්යය මණ්ඩලයේ මැදිහත්වීම – විශ්වවිද්‍යාල
පරිපාලකයින්,උපදේශකයින් හා ජෙෂ්ට කථිකාචාර්යවරුන් නවකවදය පිළිබද
ශක්තිමත් නීතිමය හා නීතිරීතිමය ක්‍රියාමාර්ග ගතයුතුය.නවකයන්ට ආරක්‍ෂිත
පරිසරයක් සැලසීම ඔවුන්ගේ මූලික වගකීමක් වන අතර,ව්‍යාජ සම්ප්‍රදායන්ට
ව්‍යවස්ථානුකූලව එරෙහි වියයුතුය.
- මාධ්‍යයේ හා සිසුන්ගේ දෘෂ්ටිය වෙනස් කිරීම.
සමාජය තුල,විශේෂයෙන් තරුණ,තරුණියන් අතර ‘නවකවදය’ ‘විශ්වවිද්‍යාලේ
අනිවාර්ය සංස්කෘතික අංගයක්’යන වැරදි දුර්මතයක් පවතින අතර,එය වහාම
නිවැරදි කල යුතුය.මෙහිදී සම්ප්‍රදායික මාධ්‍ය ලෙස පත්තර,රූපවාහිනී මෙන්ම
ගුවන්විදුලිය සියලු සත්‍ය ප්‍රචාරය කොට ලාංකීය මහජනතාව දැනුවත් කළ
යුතුය.කිසිදු විටක පක්ෂග්‍රාහී පුවත් වාර්තා නොකළ යුතුය.උණු කැවුම් ලෙස
විකිණිය හැකි බොරු නිවුස් සෑදීමෙන් වැළකී සිටිය යුතුය.වර්තමාන ලාංකීය
සමාජ සන්දර්භය ඇතුලත ඩිජිටල් මීඩියා යටතේ සමාජ මාධ්‍යය වල මැදිහත්වීම
බහුලවම දැකිය හැක.
විශේෂයෙන්ම ෆේස්බුක්,ටික්ටොක්,ඉන්ස්ටග්‍රෑම් මෙන්ම යූටියුබ් භාවිතය බහුල වීම
නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතුලත සිදුවන මෙම නවකවද සිදුවීම් සම්බන්ධව
බොහෝ තොරතුරු,රූපරාමු මෙන්ම වීඩියෝපට නිතර මේ ඩිජිටල් අවකාශයේ
සංසරණය වීම දැකගත හැක.ඒවායේ තියෙන අන්තර්ගතයන්වල
සත්‍ය,අසත්‍යතාවන් ගැන නිවැරදි පරීක්ෂණ සිදුකොට නිසි ව්‍යවස්ථානුකූල නීතිමය
පියවර ගත යුතුය.
3.මවුපියන්ගේ සහ සමාජ සංගම්වල දායකත්වය.
සිසුන්ගේ මවුපියන්,පාසල් ගුරුවරුන් හා මානව හිමිකම් සංවිධාන නවකවදය
සම්බන්ධයෙන් හඩනගා සමාජයේ අවධානය යොමු කල යුතුය.විශේෂයෙන්ම
නවකයන්ට වඩා ජීවිතය පළපුරුදු මවුපියන් මෙවැනි අවදානම් පිලිබදව දරුවන්ට
අධ්‍යාපනය ලබාදිය යුතුය.
- රජයේ වගකීම් හා නීතිමය ක්‍රියාමාර්ග…
‘නවකවදය’ පිළිබද විශේෂ නීති පනවන වගකීම.
ශ්‍රී ලංකාවේ දැනටමත් නවකවදයට එරෙහිව අධිශික්ෂණ ආයතන නවකවදය
වැළක්වීමේ හා පීඩාකාරී ක්‍රියා නතර කිරීමේ නියෝගය 1998 සිට ක්‍රියාත්මක වන
අතරත්,එය නීතිමය පදනමක් නොවන බැවින් කාර්යක්ෂමතාවය අඩුය.නව නීති
පනත් සම්පාදනය කරමින්,එයට විනිවිද පෙනෙන දඩුවම් ක්‍රමයක් අන්තර්ගත
කල යුතුය.
- නීති ක්‍රියාත්මක කිරීමේ සීග්‍රතාවය…
‘නවකවදය’ සම්බන්ධයෙන් පවතින උසාවි සිද්ධීන්ට නීතිමය විනිශ්චය වහාම
ලබාදිය යුතුය.එය නීතියේ ආධිපත්‍යට මෙන්ම වින්දිතයාගේ මෙන්ම
අසාධාරණයට,අගතියට ලක්වූ පාර්ශවයේ ආත්මවිශ්වාසය හා නීතියේ ආධිපත්‍යය
තහවුරුවීමට හේතුවනු ඇත.’පොලිස් දෙපාර්තුමේන්තුවේ විශේෂ ඒකකයක්
පිහිටුවා ‘නවකවදය’ පරීක්ෂණ පැවැත්වීමද අවධානය යොමුකළ යුතු කාරණයකි. - ‘නවකවදය’ යනු අධ්‍යාපන ආයතනයක වටිනාකමට හා නීතිමය පදනමට
අපහාසයක් වන අතර,එය වහාම මුලිනුපුටා දැමිය යුතු ක්‍රියාවලියකි.විශ්වවිද්‍යාල
පද්ධතිය නවකයන්ට ආරක්ෂිත,සතුටුදායක හා ගෞරවනීය පරිසරයක්
උරුමකරදීම අප සියලුදෙනාගේම වගකීමකි. - සමාජය,විශ්වවිද්‍යාල පරිපාලනය සහ රජය එකම අරමුණකට යටත්ව ක්‍රියා
කළහොත්,මෙවැනි පිලිකාකාරී වෛරස්,සම්ප්‍රදායික සංකල්ප නිමකළ හැක. - ‘නවකවදයට’ සම්බන්ධ ඇත්ත ජීවිත සංසිද්ධීන්…
- 1975දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි ‘රූපා
රත්නශීලී’ ශිෂ්‍යාව ජේෂ්ඨ සිසුන්ගෙන් සිදුවූ නවකවදය දරාගත නොහැකිව
රාමනාදන් ශාලාවේ නේවාසිකාගාරයේ දෙවන මහලින් බිමට පනින ලදී.ඒ වන
විට ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළුකොට තිබූ බව වෛද්‍ය වාර්තාවල
සදහන් විය.නේවාසිකාගාරයෙන් බිමට පැනීම නිසා ආබාධිත තත්වයට පත්වූ
ඇය, ජීවිතයේ ඉතිරි කාලය ගතකලේ රෝදපුටුවක් මතය.ඇයට සිය පාදයන්ට
ඇතිවූ ආබාධ,නවකවදයෙන් පසුව හටගත් සිත් තැවුල් හා කරදර නිසා 1997දී
සියදිවි හානි කරගත්තාය. - 1993දී නවකවදයට ගොදුරු වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ‘චමින්ද
පුංචිහේවා’ නමැති සිසුවා මරණයට පත්විය. - 1993දී අගුණකොලපැලැස්ස කෘෂි පාසලෙහි සිදුකෙරුණු නවකවද සිද්ධියක්
හේතුවෙන් ‘ප්‍රසංග නිරෝෂණ’ නමැති සිසුවා මරණයට පත්විය. - 1997 වසරේදී නවකවදය නිසා විශ්වවිද්‍යාල සිසුන් තුන්දෙනෙක් සියදිවි හානි
කරගනු ලැබීය. - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි ‘එස්.වරප්‍රකාශ්’
ජේෂ්ඨ සිසුන් විසින් ලබාදුන් දරුණු නවකවදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන්
මරණයට පත්විය. - රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවදය හේතුවෙන් සියදිවි
හානි කරගත්තාය. - නවකවදයේදී දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය
ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රියවීමක් හේතුකොටගෙන
අම්පාර ‘හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ ‘කැලුම් තුෂාර
විජේතුංග’ මරණයට පත්විය. - 1998 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමුවසර සිසුවෙක් නවකවදය
අතරතුර සිදුවූ බරපතල කායික හිංසනයෙන් මරණයට පත්විය. - නවකවදයට එරෙහිවීමට කටයුතුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවැනි
වසර කළමනාකරණ සිසුවෙක් වූ ‘සමන්ත විතානගේ’ නවකවදයට එරෙහිව
පැවැත්වූ කතිකාවතක් අතරතුර 2002 වසරේදී මරණයට පත්කරන ලදී. - විශ්වවිද්‍යාලයෙන් නවකවදය තුරන් කිරීම සදහා ලබාදෙන නියෝග සදහා
සිසුන් අවනත නොවීම හේතුවෙන් 2006 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
උපකුලපති වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා එම තනතුරින් අස්විය. - 2015 පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ ‘අමාලි චතුරිකා’ සිසුවිය
සියදිවි හානි කරගත්තාය.ඇය අවසන්වරට ලියා තිබූ කෙටි ලිපියෙහි සදහන්ව
තිබුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිවෙකුටවත් තම අවමගුලට සහභාගී
වීමට ඉඩනොතබන ලෙසයි. - 2011 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුලදී නවකවදයට
ගොදුරු වූ සමාජවිද්‍යා අධ්‍යනංශයේ සිසුවියක්,අංශභාග රෝගයට පත්විය. - 2016 වසරේදී නවකවද සිදුවීමක් අතර සිදුවූ ලිංගික හිංසනයකට අදාලව,
අධිකරණය ඉදිරියේ විභාගවුණු නඩුවක සාක්ෂිකරුවෙකු වුද,නවකවදය
හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරගොස් රැකියාවක් හැටියට ලොරියකට බඩු පටවමින්
සිටියා වූද,අගුණකොලපැලැස්සේ-ආචාරිගම සිසුවෙකු වූ ‘ඩී.කේ.නිශාන්ත’
පේරාදෙණිය විශ්වවිද්‍යාල භුමිය තුලදීම සියදිවි නසාගත්තේය. - මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් වන දියගම තාක්ෂණික
ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ‘ශනිල්ක දිල්ෂාන්’ සිසුවා නවකවදය
ඉවසාගත නොහැකිව 2019 අප්‍රේල් 01 වැනිදා සියදිවි හානි කරගත්තේය. - 2025 අප්‍රේල්,සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ‘චරිත් දිල්ෂාන්’
සිසුවාගේ මරණය.
- මේ මරණ විතරයි.කීදෙනෙක් නම් කැම්පස් අතහැරලා ගියාද?මානසිකව
වැටුනද?පහරදීම් නිසා,ටයර් පෙරලලා කීදෙනෙක් නම් ඉස්පිරිතාලවල නැවතුනාද? - නවකවදය සදහා දැනට පවතින නීතිමය රාමුව හා අර්ථදැක්වීම…
1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය හා අනෙකුත් ආකාරයේ
ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ පනත ශ්‍රී ලංකාවේ ‘නවකවදය’ ආමන්ත්‍රණය කරන
මූලික නීතියයි. - ‘නවකවදය’ පිළිබද අර්ථදැක්වීම…
- ‘නවකවදය’ යනු අධ්‍යාපන ආයතනයක් තුළ හෝ ඉන් ශිෂයෙකුට හෝ කාර්ය
මණ්ඩල සාමාජිකයෙකුට ශාරීරික හෝ මානසික තුවාල,බිය හෝ මානසික
වේදනාවන් ඇතිකරන හෝ ඇතිකිරීමට ඉඩ ඇති ඕනෑම ක්‍රියාවක් ලෙස පුළුල්
ලෙස අර්ථ දැක්වේ.මෙයට අපහාස හා කෘර ක්‍රියා ඇතුලත්වේ.
*ශිෂයෙකු සියදිවි නසාගත්තේ නම් හා එම සිදුවීම ‘නවකවදය’ නිසා සිදු
වුවහොත්,එය ඔප්පු වුවහොත්,
‘නවකවදය’ හේතුවෙන් ඍජු ප්‍රතිඵලයක් ලෙස ශිෂයෙකු සියදිවි නසාගත් බව
අධිකරණයකින් ඔප්පු වුවහොත්,එම ‘නවකවදය’ සදහා වගකිවයුතු පුද්ගලයන්ට
පනත යටතේ දැඩි දඩුවම් වලට මුහුණ දීමට සිදුවේ.
- පනත මත පදනම් වූ විභව ප්‍රතිවිපාක…
- සාමානය ‘නවකවදය’ – (2) (1) වගන්තිය : ‘නවකවදය’ සිදුකිරීම හෝ
සහභාගිවීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත්,වරදකරුට වසර දෙකක්
නොඉක්මන කාලයක් සදහා දැඩි සිරදඩුවමක් නියම කල හැකි අතර වින්දිතයාට
වන්දි ගෙවීමටද නියෝග කල හැකිය. - දරුණු වේදනාවක් හෝ ලිංගික හිරිහැරයක් ඇතිකරන ‘නවකවදය’ – (2) (2)
වගන්තිය : ‘නවකවදය’ හේතුවෙන් ශිෂයෙකුට දරුණු වේදනාවක් ඇතිවුවහොත්
වරදකරුට වසර දහයකට නොවැඩි කාලයක් සදහා සිර දඩුවම් නියම කල
හැකිය.මෙම වරද සාමානයෙන් ඇප ලබාදිය නොහැකි වරදකි. - (9) (1) වගන්තිය : පනතේ විශේෂයෙන් ‘බරපතළ වේදනාවක්’ සදහන්
වුවද,සියදිවි නසාගැනීමකට තුඩුදෙන දැඩි මානසික කම්පනය මෙම වගන්තිය
යටතේ අර්ථ දැක්විය හැක.විශේෂයෙන් මානසික තුවාල හා මානසික වේදනාව
ඇතුළුව ‘නවකවදය’ පිළිබද පුළුල් අර්ථ දැක්වීම සලක බලමින්,
- අපරාධ බිය ගැන්වීම – (3)වන වගන්තිය : ‘නවකවදය’
ශිෂ්‍යාගේ,පුද්ගලයාට,කීර්තිනාමයට හෝ දේපළවලට හානි කිරීමේ බිය ඇතිකරන
තර්ජන(වාචික හෝ ලිඛිත) ඇතුලත් නම්,අපරාධකරුට වසර 05ක් නොඉක්මන
කාලයක් සදහා දැඩි සිරදඩුවමක් නියම කල හැකිය.
- නෙරපා හැරීමේ හෝ සේවයෙන් පහකිරීමේ නියෝග – (8)වන වගන්තිය : මෙම
පනත යටතේ වරදකට ශිෂයෙකු හෝ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු
වරදකරුවෙකු වුවහොත්,වරදේ බරපතලකම අනුව අධිකරණයට,ඔවුන් අධ්‍යාපන
ආයතනයෙන් නෙරපා හැරීමට හෝ ඔවුන්ගේ තනතුරෙන් නෙරපා හැරීමට
නියෝග කල හැකිය.
- ‘නවකවදය’ හේතුවෙන් සියදිවි නසාගැනීම…
ශිෂ්‍යාගේ මරණය ඔවුන් විදදරාගත් ‘නවකවදයේ’ ඍජු ප්‍රතිවිපාකයක් බව ඔප්පු
වුවහොත්,අපරාධකරුවන්ට පනත යටතේ ඇති දරුණුම දඩුවම්වලට මුහුණ දීමට
සිදුවනු ඇත.පනතේ මරණය,අනුරූප දඩුවමක් සහිත නිශ්චිත ප්‍රතිඵලයක් ලෙස
පැහැදිලිව සදහන් කර නොමැති වුවද,වසර දහයක් දක්වා සිරදඩුවම් නියම කල
හැකි(ඇප ලබාදිය නොහැකි), බරපතල තුවාල පිළිබද වගන්තිය( (2) (2) ) අදාල
විය හැකි ආසන්නතම විධිවිධානය වනු ඇත.ඛේදජනක ප්‍රතිඵලයකට
තුඩුදෙන,ඇති කරන ලද මානසික කම්පනයේ බරපතලකම අධිකරණය විසින්
සලකා බලනු ලැබේ.
- විමර්ශන සදහා පොලිසිය,සමහරවිට අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව(CID)
සම්බන්ධ විය හැකි බව සැලකිල්ලට ගැනීමද වැදගත්වේ.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිෂන් සභාව(UGC) ද මාර්ගෝපදේශ දක්වා ඇති අතර ‘නවකවදයට’ එරෙහි
නීති දැඩිලෙස ක්‍රියාත්මක කරනු ලබයි.
පසුබිම – මෙහිදී ‘කතා සංකල්පය’ තෝරාගැනීමේදී පළමුව මාගේ මුලිකම
අවධානය යොමු වුයේ වර්තමානයේදී වඩාත්ම කතාබහට ලක්වන ශ්‍රී ලංකා
විශ්වවිද්‍යාල පද්ධතියේ දක්නට ලැබෙන ‘නවකවදය’ යන මානසික,කායික
හිංසාකාරී ,පුහුදුන් සම්ප්‍රදායික කතාන්දරයයි.
මෙහිදී විශේෂයෙන් වැදගත්වන්නේ ‘නවකවදය’ සම්බන්ධයෙන් මීට පෙර මා
දැනුවත්ව සිටි පත්තරවලින් කියවූ,ඩිජිටල් මාධ්‍ය හරහා අනාවරණය කෙරුණු
කරුණු ,කාරණාවලට අමතරව බොහොමයක් මේ සමාජය,රට මෙන්ම
විශ්වවිද්‍යාලයේ දැනටත් ඉගෙනුම ලබන,ඉගෙනගත් බොහෝ ශිෂ්‍යන් පවා නොදත්
තවත් දේවල් තිබෙන බවට මෙම අධ්‍යනයේදී මාහට අවබෝධවීමයි.
දශක ගණනාවක් සිටම දැවී දැවී තිබෙන ‘නවකවදය’ නම් අධ්‍යාපනික,සමාජීය
මෙන්ම රටේ ආර්ථිකයට මෙන්ම ඉදිරි අනාගත පරම්පරාවටද ඍජු බලපෑමක්
එල්ල කරන මෙම අර්බුධකාරී ප්‍රශ්නය දැන් හෝ අවසන් කල යුතුය.ඒ සදහා වන
මාගේ දායකත්වය නිදහස් අධ්‍යාපනයක් පවතින ශ්‍රී ලංකාවේ සාමකාමීව
ජීවත්වන සිවිල් පුරවැසියෙක් විදිහට,ඩිජිටල් මාධ්‍යකින් යම්කිසි උත්සහයක්
දැරීමක් මේ මොහොතේදී මාගේ යුතුකමක් මෙන්ම වගකීමක් කොට සලකමි.මේ
උත්සාහයෙන් ‘නවකවදය’ සම්පූර්ණයෙන්ම විශ්විද්‍යාල පද්ධතියෙන් අතුගා දැමිය
නොහැකි වුවද යම්කිසි පොඩි හරි බලපෑමක් කිරීමට අරමුණුකොට ගනිමි.
අවසාන වශයෙන්,මෙම අධ්‍යනයේදී මා සොයාගත් දෙයක් වන්නේ ‘නවකවදය’
සදහා දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් නීතිමය ප්‍රතිපාදන සලසා ඇතත් ඒ
සම්බන්ධව සාතිශය බහුතරයක් මහජනතාව නොදැන සිටීමයි.නීතිය හරිහැටි
නොදැන සිටීම නිදහසට කාරණයක් නොවන අතරම,වරදට නිසි පියවර ගෙන
නීත්‍යනුකුල පියවර ගැනීමද වැදගත් වන්නේය…
එච්.ජනිත් කුමාර පෙරේරා