*වැහි මන්දාරම් අහසක් යට,
මම…
සීගතු හුළගට නලියන
පෙම් හැගුම්,සිත් රිදුම්
හුගක් එක්ක
තනිවෙලා අද…
වැහි බිදුවක සිහිලසත්
නුඹෙ තොල්පෙත්තේ උණුහුමත්
සසදනු වස්,
වැහි මන්දාරම් අහසක් යට,
මම…
හෙමි හෙමින් ඇද වැටෙන
වැහි බිදුවක රිද්මය
වෙණ වැයෙන සිතාරෙක,
තත් අතර සිරවෙච්ච
ගී මිහිර අරුමැසිය
විදගනුව,විදවනුව
වැහි මන්දාරම් අහසක් යට,
මම…
නැගෙනහිරට පිටුපා
බටහිරෙන් බැසගිය,
මළහිරු…
අද දිනෙහි අවසන,
සනිටුහන් විය එලෙසින
වැහි බීරුමට ඉඩදී
පශ්චාත්තාපීව සැගව ගිය,
නුඹ,
මළහිරුට සමද,
සද මෙන්ම සොමිද
චිත්තාපරවශව දිවයන,
මා දෙනයන
නුඹ සොයන අටියෙන්
වැහි මන්දාරම් අහසක් යට,
මම…
රමණයේ යෙදෙන සියොතුන්
රමණයේ යෙදුන සියොතුන්
ස්නේහයෙන් නිදිවැදුණු රාත්රීන්
ස්මරණය කරනු රිසියෙන්
වැහි මන්දාරම් අහසක් යට,
මම…
මයුරෙකුට නොමැති සුවයක්
සත්තකින්,මට හැගුණ සමයක්
තිබුණා මතකයි අදටත්…
ගතවෙච්චි අතීතෙත්,
නෙඉපදුණු අනාගතෙත්,
අතර තෙරපිච්චි,
වත්මනෙත්
ඉසිඹුලන පෙම් හැගුම්,
විදගන්ට,විදවන්ට
වැහි මන්දාරම් අහසක් යට,
මම…
නුඹට කී කතාවන්
නුඹ නොකියු කතාවන්
අතරමැද නුඹ නැතිව,
තනිවන්න වස්සානේ
සත්තකින්,හද තුටින්
වැහි මන්දාරම් අහසක් යට,
නුඹ නැතිවම,
මම…
*ඇත්තටම, වැහි මන්දාරම් අහසක් යට,
මම…
ජනිත් කුමාර පෙරේරා….