නමදිමු ශ්‍රී ලංකා

නේක පැහැ විදෙස් ධජයන් හි සෙවණැලි වලින් වැසී පරාධීනව හිඳ, ලෙයින් කඳුලින් දිනාගත් දේශයක විජයග්‍රහණයේ සැමරුම අභිමානයෙන් සිහිපත් කරනුයේ, පෙබරවාරි 04, ජාතික නිදහස් දිනයයි. 2026 පෙබරවාරි 04 වනදාට යෙදී තිබූ 78 වන ජාතික නිදහස් දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන ලද “නමදිමු ශ්‍රී ලංකා” නිදහස් දින සැමරුම පසුගිය පෙබරවාරි 03 වනදා නීති විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. 2019 වර්ෂයෙන් පසු පළමු වතාවට මෙය සංවිධාන වීම මෙවර උළෙලේ විශේෂත්වය විය.

වසර 07 ක නිහැඬියාවකින් පසු පැවති මෙහි ආරම්භය, සම්ප්‍රදායනුකූලව ජාතික ධජය සහ නීති විද්‍යාලයීය ධජය එසවීමෙන් සනිටුහන් විය. නීති විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවති සැමරුම සමඟ නීති විද්‍යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය විදුහල්පති නීතිඥ ශෙහාන් සී. පෙරේරා මහතා, නීති ශිෂ්‍ය සිංහල සංගමය සහ නීති ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහභාගී වූහ. නිති විද්‍යාලයීය කලා පර්ශදය ඉදිරිපත් කළ, ලංකේය ජාතීන්ගේ විවිධත්වය විදහා දක්වන සංස්කෘතිකාංග රැසකින් හැඩගැන්වුණු “නමදිමු ශ්‍රී ලංකා” උළෙලේ ආරාධිත දේශනය ආධුනිකත්ව වසර ශිෂ්‍ය මානෙත් පතිරණ විසින් ඉදිරිපත් කරන ලදි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන් මග සහ සැබෑ නිදහසේ අරුත යනාදිය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. තවද මේ ව්‍යාපෘතියේ මූලිකත්වය නීති ශිෂ්‍ය සිංහල සංගමයේ සහකාර ලේකම් අමයුරු බණ්ඩාර විසින් දරන ලදි.

නිදහසේ අභිමානය සිහි නංවන සෑම විටෙකම, නීතිඥ වෘත්තිකයන් විසින් ඒ සඳහා ඉටු කළ සුවිශේෂී මෙහෙවර අමතක කළ නොහැකිය. ලංකා නීති ඉතිහාසයෙහි පුරෝගාමී විදවතුන් අතර නිදහසේ පෙරමං තැනීමට ඇප කැප වූ පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැන්නවුන් සදා අමරණීය වේ. එවන් පරපුරක අභිමානය මනාව විදහා පෑ “නමදිමු ශ්‍රී ලංකා” 2026, 78 වසරක නිදහසේ හුස්ම වෙනුවෙන් පිදෙන නීති විද්‍යාලයීය සංකේතයයි.


ශ්‍රී ලංකා මාතාව සදා දිනේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *